Update: Two of the suspects arrested by the police for Dan's murder are his brother's killers

කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙම ඝාතනයට පිය - පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

අද දින (23) පැවති අධිකරණ විභාගයේදී, බන්දුල පියල් සහ මාධව සුදර්ශන යන පිය - පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත්, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී. මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා, අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගත වීම වැළැක්වීම සඳහා ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර ඇත.


වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, මියගිය ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු වන තිළිණ ප්‍රසාද් මහතා වසර කිහිපයකට පෙර කපා කොටා ඝාතනය කර ඇති බවත්, එම සිද්ධියට අදාළව මෙම පිය-පුතු දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බවත්ය.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වන විටත් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැන්වීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර, මෙම ඝාතනය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදී. පොලීසිය සැකපළ කරන්නේ මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වය විසින් සිදු කර ඇති බවට ය.

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාද 2022 දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූයේ අවුරුදු 34 ක්ව සිටියදීය.සහෝදරයා වැල්ලම්පිටිය කුරුනියාවත්තේ පදිංචිකරුවෙකු වූ අතර
ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී 2022 ජූලි 21 දා රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩු සහ මන්නා වලින් පහරදී ඝාතනය කර තිබුණි.
පාතාල ජාලය හා මත්ද්‍රව්‍ය ජාලය සමග ඩෑන් හා සහෝදරයාට සබඳතා තිබූ බවටද වාර්තා පළවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙන අතර, අධිකරණය විසින් ලබා දී ඇති නියෝග අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානමින් සිටී.