the-owner-of-a-lorry-using-the-presidential-secretariats-name-was-arrested-in-kottawa

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ බවට සාවද්‍ය ලෙස පෙන්වමින් ව්‍යාජ ලේඛනයක් භාවිතා කර ලොරි රථයක ගමන් කරමින් ජනතාව මුළා කොට මුදල් ආධාර එකතු කළ හිමිනමක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මුදල් තැන්පත් කර තිබූ පින් කැටයක් ද රාජ සන්තක කර ඇත.




කොට්ටාව නගර මධ්‍යයේ නවතා තිබූ ලොරි රථයක සිට පිරිත් දේශනා කරමින් සැක කටයුතු ආකාරයෙන් හිමිනමක් ආධාර එකතු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් සන්තකයේ තබාගෙන මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බව හෙළි වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ලොරි රථයේ සිටි වයස අවුරුදු 76ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි හිමිනමක් සහ අවුරුදු 40ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, හෝමාගම තලගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින තවත් හිමිනමකගේ මෙහෙයවීම මත මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවත්, එම හිමිනම විසින් මෙම ව්‍යාජ ලිපිය සකස් කර දී ඇති බවත් අනාවරණය වී ඇත.


පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි, අත්අඩංගුවට ගත් හිමිනම දීර්ඝ කාලයක සිට නගරයෙන් නගරයට ගමන් කරමින් ආගමික භක්තිය ඇති වන පරිදි ලොරි රථය සරසා, එහි වැඩසිට පිරිත් දේශනා කරමින් ජනතාවට පිරිත් නූල් බැඳ, ඔවුන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වී ඇත.
අත්අඩංගුවට ගත් හිමිනම සහ රියදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.