
කලින් කලට දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීම අතීතයේ සිට පැවැති සම්ප්‍රදායකි. ඉතිහාසය තුළ එක දිගට මාස තුනක් දළදා වහන්සේ වන්දනාමාන කිරීමට මහජනතාවට ඉඩ සැලසුණු අවස්ථාවක් පිළිබඳවද සඳහන් වේ. මෑත ඉතිහාසය සලකා බැලීමේදී, 2003 වසරේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව දැනගත හැකිය. 2009 මාර්තු මාසයේ කොටි ත්‍රස්තවාදය දරුණුව පැවැති සමයේද එබඳුම දැක්මක් පැවැත්විණි. ඒ අවස්ථාවේදී ලක්ෂ විසිපහක පමණ ජනතාවක් දළදා වහන්සේ වන්දනාමාන කිරීමට මහනුවර නගරයට පැමිණ ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු මූලාශ්‍රවල දැක්වෙයි.
දළදා වහන්සේගේ ආරක්ෂාව සහ සම්ප්‍රදාය
ප්‍රධාන කරඬුව ඇතුළු කරඬු හතක් පවතින අතර දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ හත්වන කරඬුවේය. එහි අවසන් කරඬු ත්‍රිත්වයේම යතුරු මල්වතු - අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ භාරයේ පවතී. දළදා වහන්සේ කරඬුවෙන් පිටතට වැඩම කිරීමට නම් මල්වතු - අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ එකඟත්වය පැවතීම අනිවාර්ය වේ.
2022 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව දළදා දැක්මක් සඳහා ඉල්ලීමක් කළද උභය විහාර හිමිවරු එයට අනුමැතිය පළ නොකළහ.
එහෙත් මාස කිහිපයකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ නායක හිමිවරුන්ගෙන් දළදා දැක්මක් පැවැත්වීමට ඉල්ලා සිටි අතර එයට අනුමැතිය ලැබිණි. ඒ අනුව අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ජනතාවට ශ්‍රී දළදා වහන්සේ අබියසටම ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසේ. මීට අදාළව මේ වන විට ශ්‍රී දළදා මාලිගාවත් මුළු මහනුවර නගරයත් ක්‍රමානුකූලව සූදානම් කෙරෙමින් තිබේ.
ජනතාවට පහසුකම් සැපයීම ප්‍රමුඛතාවක්
ශ්‍රී දළදා මාලිගාවේ අධ්‍යක්ෂ (මාධ්‍ය විශේෂ ව්‍යාපෘති සහ සංවර්ධන) ක්‍රිශාන්ත හිස්වැල්ල මහතා මෙසේ පැවසීය: "මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේගේ මෙන්ම දියවඩන නිලමේතුමාගේත් මූලික අරමුණ වෙන්නේ මහජනතාවට දළදා වහන්සේ අබියසට ගොස් ඉතාම පහසුවෙන් වන්දනාමාන කිරීමට කටයුතු සම්පාදනය කිරීම. ඒ වගේම ඉතා වැඩි පිරිසකට එම පූජනීය අවස්ථාව ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. 2009 වසරේ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට ලක්ෂ විසිපහක පමණ පිරිසක් ඇවිත් තියෙනවා. එහෙත් දළදා වහන්සේ අබියසට ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ ලක්ෂ දොළහකටයි. මේ කාරණාත් සලකා බලලා අපි දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්න, මල් පහන් සුවඳ දුම් රැගෙන ඒමට අවස්ථාව සලසා දෙන්නේ නැහැ. එසේ කරන්නේ වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමටයි."
ප්‍රවේශ මාර්ග හා වැඩපිළිවෙළ
මෙවර දළදා දැක්මේදී ජනතාව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් විවෘත කෙරේ:
-
රතු බෝක්කුව මාර්ගය: වැව රවුමෙන් ඇවිත් අවන්හල, විශ්‍රාම ශාලාව පෙදෙසින්ම මාලිගාව ඉදිරියෙන් ගමන් කර රැජන 1 හෝටලය ඉදිරියෙන් තිබෙන ප්‍රධාන වාහල්කඩ තුළින් දළදා මාලිගාවට ප්‍රවේශ විය හැකිය. මේ සඳහා විශේෂ පාලමක් මේ දිනවල සකස් කෙරෙමින් තිබේ.
-
වැව රවුම මාර්ගය: රතු බෝක්කුව පෙදෙසින්ම පටන්ගෙන වැව රවුම පෙදෙසින් රැජන හෝටලය ඉදිරිපිටට පැමිණ වාහල්කඩ ඉදිරියට ඍජුවම ප්‍රවේශ වීමෙන් මාලිගාවට ඇතුළු විය හැකි මාර්ගය.
-
ඩී. එස්. සේනානායක මාවත ඔස්සේ: කටුගස්තොට පැත්තේ සිට මහමළුව ආශ්‍රිතව පවතින වතුර මල දෙසින් විත් පෞද්ගලික බැංකුවක් ඉදිරි පිටින් මහමළුවට ප්‍රවේශ විය හැකි වෙයි.
මෙකී ප්‍රවේශ තුනම මහමළුවේ පවතින මද්දුම බණ්ඩාර පිළිරුව අබියසදී එකක් බවට පත්වේ. ඉන්පසු සඳගලට (පත්තිරිප්පුව දෙසට) ගමන් කළ හැකිය. පත්තිප්පුව අබියසදී දළදා මාලිගය තුළට ප්‍රවේශ වීමට යළි මාර්ග තුනක් වෙයි - පිහිටි පොළොවේම ගමන් කරන මාර්ගය, අඟල් හයක් උසින් සකස් කර ඇති මාර්ගය, සහ අඩියක් උසින් සකස් කර ඇති මාර්ගය. මේ ආකාරයට විශේෂ මාර්ග තුනක් සැකසෙන්නේ සෑම මොහොතකම සෑම අයකුටම ඇස් මට්ටමෙන් දළදා වහන්සේ දෙස බලාගෙන වන්දනාමාන කිරීම පහසු කරවීම සඳහාය.
විවෘත කාලසටහන
මෙවර දළදා දැක්ම ආරම්භ වන්නේ අප්‍රේල් 18 වැනිදා සවස තුනටය. එදින සවස පහ දක්වා දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසේ. එහෙත් 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12 සිට සවස පහ දක්වා දළදා වහන්සේ වන්දනාමාන කරන ගත හැකිය. සෑම බැතිමතකුටම දළදා මාලිගාව මඟින් තේ පැන් සංග්‍රහයක්ද කෙරෙනු ඇත.
දන්සල් හා ආහාර පහසුකම්
මෙවර විශේෂ දන්සල ස්ථාපිත කරනු ලබන්නේ විෂ්ණු දේවාලයට පහළම මළුවේ ඇති කොටසේය. මෙය රාත්‍රි 7.30 පමණ ආරම්භ වන අතර අලුයම දෙකයි තිහ පමණ වනතුරු ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහිදී පෝලිමේ සිටින සෑම කෙනකුටම ටෝකන් පතක් සපයනු ලබන අතර එකී ටෝකන් පත දන්සලට පෙන්වා තමන්ට අවශ්‍ය ආහාර බුෆේ ක්‍රමයටම ලබාගත හැකිය.
ආහාර පිළියෙල කෙරෙන්නේ ජංගම මුළුතැන්ගෙවල් මඟින් දානශාලාව තුළදීමය. එයට අවශ්‍ය පිරිස්ද මාලිගාව සතුය. මුදල් ප්‍රතිපාදනද සම්පූර්ණයෙන්ම ශ්‍රී දළදා මාලිගාව විසින් දරනු ලැබෙයි. පැයකට පන්දාහක පමණ පිරිසක් දන්සල තුළට ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන අතර එක් දිනෙකදී තිස් දහසකට පමණ ආහාර ලබාදීමටද බලාපොරොත්තු වේ. එසේම ආහාර ලබා ගත් අයට පෝලිමේ තමන් රැඳී සිටි ස්ථානයටම ගොස් රැඳී සිටීමටද අවශ්‍ය කටයුතු සැලසෙනු ඇත.
නගර සභාවේ වගකීම් හා දායකත්වය
මාලිගාව පරිශ්‍රයෙන් පිටත මහනුවර නගරයේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ මෙහෙයවනු ඇත්තේ මහනුවර මහ නගර සභාවය. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාර්ස් ඉන්දිකා අබේසිංහ මහත්මිය මෙසේ පැවසීය:
"දළදා වහන්සේ වන්දනාමාන කරන සමයේ අපට විශේෂ වගකීමක් පැවරෙනවා. සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම් පුළුල් වෙනවා. ජනතාව රැඳී සිටින පෝලිම් තුන පුරාම මීටර් දෙසීයෙන් දෙසීයට ජල කරාම තබා ඇත. තවද, ජංගම වෙළෙඳ කටයුතු සඳහා අප විශේෂ කේත ක්‍රමයක් භාවිතා කරනවා. මුළු නගරය පුරාම විවෘත පොදු කේතයක් ප්‍රදර්ශනය කරනවා. ඒ මඟින් ඕනෑ කෙනකුට යෝජනා, චෝදනා වගේම අපෙන් සිදුවිය යුතු තව අමතර සේවයක් තිබෙනවා නම් ඒ පිළිබඳවත් දැනුවත් කරන්න පුළුවන්."
ආරක්ෂක විධිවිධාන
මෙවර දළදා දැක්ම දින 12ක් තිස්සේ පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය ගැටලුවක් මතුවුවහොත් ප්‍රතිකාර දීමේ සේවා මෙන්ම අවශ්‍ය වුවහොත් රෝහල් ගත කිරීමේ පහසුකම්ද මාලිගාව අභ්‍යන්තරය මෙන්ම නගරය තුළද සෞඛ්‍ය අංශ විසින් ස්ථාපිත කර ඇත.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මෙසේ පැවසීය:
"අපි මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ අටදහස් පන්සියයක් පමණ යොදවලා තිබෙනවා. ඒ වගේම සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන්ද රැසකුත් සිටිනවා. උදාහරණයක් හැටියට දරුවකු හෝ පුද්ගලයකු අතුරුදන් වුණොත් ඔහු සෙවීමට පවා අපි විශේෂ පුද්ගලයන් දැනටමත් සූදානම් කර තියෙනවා. මැරකම්, හොරකම් සම්බන්ධයෙනුත් විශේෂ නිරීක්ෂකයන් යොදවලා ඉන්නවා. සැකකටයුතු පුද්ගලයන් ගැනත් ඇස ගසාගෙන සිටිනවා. ඒ වගේම වැව රවුමේ ස්ථාන තුනකදී වගේම සේනානායක වීදියේ ස්ථාන දෙකකදීත් ජනතාවගේ ගමන් මලු, සෙරෙප්පු, සපත්තු පවා අපි භාර ගන්නවා. ඒ වගේම ඒවා වෙන වෙනම අංකනය කරලා ආරක්ෂා කරන්න පිරිස් යොදවලා තියෙනවා."
මෙවර ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට ලැබෙන්නේ වසර දාසයකට පමණ පසුව බැවින්, මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ජනතාවට බාරය.
Comments
Post a Comment
Your comment will be visible after approval