ced-asks-to-temporarily-deactivate-sola-panels-to-reduce-national-demand

ජාතික විදුලිබල පද්ධතියේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති විදුලි ඉල්ලුම හේතුවෙන්, අද දින (අප්‍රේල් 12) සිට පස්වරු 3.00 දක්වා සියලුම වහල මත සවි කරන ලද සූර්ය විදුලි පද්ධති හිමියන්ගෙන් ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ සෞර ඉන්වර්ටර් උපකරණ අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර ඇත.


මහජන නිවේදනයක් මගින්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම ඉල්ලීම උත්සව සමයේදී ජාතික විදුලි සැපයුමේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා
අරමුණු කරගෙන ඇති බවයි.
"මුළු රටටම අඛණ්ඩ හා ආරක්ෂිත විදුලි සැපයුමක් පවත්වාගැනීමට උපකාර කිරීම සඳහා සූර්ය බලශක්ති පරිශීලකයින්ගේ සහයෝගය අවංකවම අගය කරනු ලැබේ," යනුවෙන් නිවේදනයට එක් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කළේ උත්සව සමයේදී විදුලි පරිභෝජනය සාමාන්‍ය දිනවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වන අතර, එය ජාතික විදුලි ජාලයේ ස්ථායිතාවයට බලපෑම් ඇති කළ හැකි බවයි. වහල මත සවි කරන ලද සූර්ය විදුලි පද්ධති මගින් ජනනය කරන අතිරේක විදුලිය ජාතික පද්ධතියට එකතු වීමෙන් විදුලි ජාලයේ ස්ථායිතාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද ඔහු පැවසීය.
මෙම තාවකාලික පියවර, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා වන අතර, පස්වරු 3.00 න් පසුව සෞර පද්ධති හිමිකරුවන්ට ඔවුන්ගේ පද්ධති නැවත ක්‍රියාත්මක කිරීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කර ඇත.
සූර්ය  විදුලි පද්ධති හිමිකරුවන්ගේ ස්වේච්ඡා සහයෝගය මෙම අවස්ථාවේදී ඉතා වැදගත් වන බවත්, මෙම ක්‍රියාමාර්ගය විදුලි සැපයුමේ ගුණාත්මකභාවය හා විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කර ඇත.

මීට අමතරව පසුගියදා වාර්තාවූයේ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ 100kw ට වැඩි සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අප්‍රේල් 10 වන දා සිට දින 12ක කාලයක් සඳහා ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.