
'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය සේවාව අද (24) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ මෙම තීරණය ගෙන ඇත්තේ පොලීසියේ ඉල්ලීම මත බවයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රදර්ශනය වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව අති විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, ඊයේ (23) දිනය තුළ ලක්ෂ තුනකට අධික ජනතාවක් දළදා වන්දනාව සඳහා පැමිණ පෝලිම්වල රැඳී සිටින බව තහවුරු වී ඇත.
ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද (24) සහ හෙට (25) දිනවල මහනුවරට දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි. දැනටමත් ප්‍රමාණවත් බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටින බැවින්, ඉදිරි දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණීමක් සිදුවුවහොත්, අලුතින් පැමිණෙන බැතිමතුන්ට වන්දනා මාන කටයුතු සඳහා අවස්ථාව නොලැබී යා හැකි බවත් පොලීසිය අවධාරණය කරයි.
මධ්‍යම පළාත් ඉන්ජිනේරු සංගමයේ වාර්තා අනුව, ඊයේ (23) පස්වරුව වන විට දළදා මාලිගාවට ප්‍රවිෂ්ට වන මාර්ග තුනෙහි ලක්ෂ තුනක් පමණ වන ජනතාවක් රැඳී සිටින බව හෙළිවී ඇත. මෙම සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය සමඟ එක්ව සිදුකළ ගණනය කිරීම්වලදී මෙම තත්ත්වය අනාවරණය වී ඇත.
වරලත් ඉන්ජිනේරු අතුල ලියනගේ මහතා සඳහන් කළේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, ප්‍රධාන ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීම පරිදි දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාව පිළිබඳව විධිමත් පරිගණක තාක්ෂණ ක්‍රමවේදයකට අනුව ගණනය කිරීමක් සිදුකරන බවයි. මෙම ගණනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිසුන් සමඟ එක්ව සිදුකරන අතර, ඒ මගින් නිවැරදි දත්ත ක්ෂණිකව ලබාගත හැකි බව ඉන්ජිනේරු දිනුක සෙනෙවිරත්න මහතා පැවසීය.
ගණන් කිරීම්වලට අනුව, වැඩිම ජනතාවක් රැඳී සිටින්නේ අම්පිටිය-දඹවෙල මාර්ගයේ වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂයකට අධික බව ඔවුහු සඳහන් කළහ.
ශ්‍රී දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 27 වැනිදා දක්වා පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, ඊට සහභාගි වන බැතිමතුන් සඳහා පෝලිම් තුනක් විවෘත කර ඇත.
ඊයේ සවස් වන විට සෑම පෝලිමක්ම කිලෝමීටර 5ක් ඉක්මවා දිගු වී තිබූ අතර, එක් පෝලිමක අන්තයක් කටුගස්තොට නගරය ද පසුකර තිබිණි. තවත් පෝලිමක් අම්පිටිය නගරය ද පසුකර පිච්ච මල්වත්ත පාර තෙක් දීර්ඝ වී තිබේ. මෙම අනපේක්ෂිත ජන ගලනය හේතුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම ද අභියෝගයක් වී ඇති අතර, ස්වේච්ඡාවෙන් මේ සඳහා දායක වන පිරිස බැතිමතුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙහෙස වන අයුරු දැකිය හැකි විය.
මහනුවර රෝහල් අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කළේ දළදා වන්දනාව සඳහා මහනුවරට ඊයේ (23) උදෑසන දක්වා පැමිණි පිරිස අතරින් 270 දෙනෙකු විවිධ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගත වූ බවයි. පෝලිමක රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගිය බව ද ඇය සඳහන් කළාය.
රෝහල් අධ්‍යක්ෂිකාවගේ ප්‍රකාශයට අනුව,
දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දිනයේ සිට දිනකට තිහකට වැඩි සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, ඉන් වැඩි දෙනෙකු විජලනය හේතුවෙන් ඇතිවූ සිහිසුන් වීම් මත ප්‍රතිකාර සඳහා පැමිණ ඇත. තවද, ප්‍රතිකාර සඳහා පැමිණි වැඩිහිටි පිරිස හා වයෝවෘද්ධ පිරිස් තමන්ගේ නිදන්ගත රෝග මත ඇතිවූ සංකූලතා හේතුවෙන් ද ප්‍රතිකාර ලැබීමට පැමිණ ඇති බව ඇය පෙන්වා දුන්නාය.
දළදා වන්දනා සඳහා පැමිණෙන ජන ගලනය ඉහළ යාම නිසා, මහජන ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලීසිය සහ රෙල්වේ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇති අතර, ජනතාව ඉදිරියේදී දැනුම්දෙන තුරු විශේෂ 'සිරි දළදා වන්දනා' දුම්රිය සේවාව තාවකාලිකව අත්හිටුවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval