Update: Dan Priyasad murder: Three suspects including a woman arrested

වැල්ලම්පිටියේදී සිදුවූ ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු විසින් දැනුම් දෙන ලදී. සැකකරුවන් අතර එක් කාන්තාවක සිටින බවත් එක් සැකකරුවෙකු මෙම ඝාතනය සිදුවූ මත්පැන් සාදයේ මුලින් සිට ඝාතනයට පෙර ඉන් පිටව ගිය අයෙකු බවත් වාර්තාවේ.

ප්‍රාථමික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ කණ්ඩායම විසින් සිදු කරන්නට ඇති බවටයි. මේ වන විට විමර්ශන කටයුතු තවදුරටත් කඩිනමින් සිදු කරමින් පවතී.

ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ නිවසේ සිංහල අවුරුද්ද වෙනුවෙන් හිතවතුන්ට පිළියෙළ කළ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර උඩු මහලදී පැවති සාදයට ඩෑන් සහ තවත් දෙන්නෙකු එක්වී ඇත. වෙඩි තැබීමට පෙර එක් අයෙකු පිටව ගොස් තිබුණි.

මේ අතරතුර එතැනට ආ දෙන්නෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඉන්පසු පලා ගොස් ඇති බව පොලිසිය විසින් තහවුරු කර ඇත.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් සිදුකර ඇති මෙම ප්‍රහාරයේදී ඩෑන් ප්‍රියසාද් මහතාගේ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් සහ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු විසින් දැනුම් දෙන ලදී. බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද්  හදිසියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අතර 11.20 ට පමණ මියගියේය.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් ලෙස සිදු කරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින බවද පොලිසිය පවසයි.

මියගිය ඩෑන් ප්‍රියසාද් 1986 උපන්නෙකු වන අතර මියයන විට 39 වියේ පසුවිය. ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙකුද විය.

gossiplanka image 2

gossiplanka image 3
gossiplanka image 4

gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7