
කිරිබත්ගොඩ නගරය නවීකරණය කිරීම සඳහා රජයට පවරා ගත් ඉඩමකට අදාළව කූට ලේඛන සකස් කිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනා තවදුරටත් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (09) නියෝග කළාය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සම සහ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මේ අතර, සිද්ධියට අදාළව සැගවී සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රොයි පෙරේරා යන අයගේ දේපළ තහනම් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, ඔවුන් දෙදෙනා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තුවක් ද නිකුත් කළාය.
නීතීඥවරුන් පෙන්වා දුන්නේ ප්‍රසන්න රණවීර ප්‍රසිද්ධ ස්ථාන ගණනාවක සැරිසරමින් සිටියත් පොලිසියට හසුනොවීම ගැටලුකාරී බවයි.
විමර්ශන ප්‍රගතිය අධිකරණයට
කිරිබත්ගොඩ නගරය නවීකරණය කිරීම සඳහා රජයට පවරා ගත් ඉඩමකට කූඨ ලේඛන සකස් කරන ලදැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටින නවීන් වීරකෝන්, හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ජයන්ත සිංහබාහු කබ්රාල් හා මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස සිටි සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරී පොලිස් සැරයන් පී. ඩෙන්සිල් මහතා සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින්, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කළත් මෙතෙක් සැඟවී සිටින ප්‍රසන්න රණවීර හා මිල්රොයි පෙරේරා නමැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
සැගවී සිටින සැකකරුවන් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්
පොලිස් සැරයන් ඩෙන්සිල් මහතා සාක්ෂි දෙමින් පැවසුවේ, මේ වන විට සැගවී සිටින ප්‍රසන්න රණවීර හා මිල්රොයි පෙරේරා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බවත්, විමර්ශන නිලධාරීන් ඔවුන් පදිංචි නිවෙස්වලට ගියත් ඔවුන් එම නිවෙස්වලින් පලා ගොස් ඇති බවත්, ඒ බව ඔවුන්ගේ ඥාතීන්ගෙන් හා ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරින්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් තහවුරු වූ බවය.
"අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර නමැත්තා ගුවන් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා පසුගිය දිනවල පාස්පෝට් කාර්යාලයට ගිය බවට තොරතුරු ලැබුණා. පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීම්වලටත් ඔහු සහභාගි වී ඇති බවට තොරතුරු ලැබුණා. ඒත් ඔහු අධිකරණයට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවී තමයි මේ විධියට කටයුතු කරන්නේ. එහෙයින් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා," යැයි පොලිස් සැරයන් ඩෙන්සිල් මහතා අධිකරණයට දැන්වීය.
නීතිඥවරුන්ගේ තර්ක
අධිකරණය මගහැර සැඟවී සිටින සිද්ධියේ හයවැනි සැකකරු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා අධිකරණය මඟහැර සිටින බවට රහස් පොලිසියේ විමර්ශන නිලධාරියා සාක්ෂි දුන්නත්, ඔහු අධිකරණය මගහැර නොමැති බවත්, ඔහු පාස්පෝට් කාර්යාලයට හා පක්ෂයේ රැස්වීම්වලට ගිය බවට විමර්ශන නිලධාරියා කළ ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වන බවත් පැවසීය.
තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට ඉල්ලුම් පතක් ඉදිරිපත් කර ඇති බවත්, අභියාචනාධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත්කරන අප්‍රේල් 27 වැනිදායින් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමා භාර ගන්නා බවත් නීතිඥ අමිල පල්ලියගේ මහතා පැවසීය.
දෙවැනි සැකකරු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින්, අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් ආඥාව පිළිබඳ නියෝගය අප්‍රේල් 27 වැනිදා ප්‍රකාශයට පත් කරන හෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය, "අභියාචනාධිකරණ නියෝගය අපට දන්වා නැහැ. ඒ නිසා එම නියෝගය මේ අධිකරණයට බලපාන්නේ නැහැ" යැයි පැවසීය.
හතරවැනි සැකකරු සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශාල් පෝල් මහතා කරුණු දක්වමින්, හෘද රෝගයෙන් පෙළෙන හා හෘද සැත්කමකට ද ලක්කර ඇති තම සේවාදායකයාට අවශ්‍ය වන ඖෂධ බන්ධනාගාර රෝහලේ නොමැති බව පැවසීය. එම ඖෂධ රාගම රෝහලින් ගෙන්වා දෙන ලෙස හෝ රෝහලේත් ඖෂධ නැත්නම් ඖෂධ පිටතින් ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි නීතිඥ දේශාල් පෝල් මහතා, තම සේවාදායකයාට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, දෙවන සැකකරුට ඇප ගැනීමට ඉදිරිපත් කළ දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සහතිකය ද ප්‍රතික්ෂේප කරමින් මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය, සැකකරුවන් හතර දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළාය. එමෙන්ම සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක විජේතුංග සහ සැරයන් ඩෙන්සිල් මහත්වරුන් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු, විශ්ව ගුණරත්න, විරේන්දා කනංකගේ සහ දේශාල් පෝල් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
ප්‍රසන්න රණවීර පාස්පෝට් කාර්යාලයේ
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමක් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහා පාස්පෝට් කාර්යාලයට ද ගොස් තිබෙන බවත්, ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති දේශපාලන රැස්වීම්වලට ද සහභාගී වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මහර මහේස්ත්‍රාත්වරියට දන්වා සිටියේය.
මේ අනුව ප්‍රසන්න රණවීර ඇතුළු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සැකකරුවන් දෙදෙනාගේ දේපළ තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බලා, අධිකරණය ඔවුන්ට වරෙන්තු නිකුත් කළේය.
නඩුව ඊළඟට මෙම මස 21 වැනිදාට කල් තබන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval