a-14-year-old-palestinian-american-dual-citizen-has-been-killed-in-israel

මේ වනවිට බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වය නැවතත් වැඩි වී ඇති අතර, ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ අවට ප්‍රදේශවල සිදුකරන මෙහෙයුම් හේතුවෙන් පලස්තීන ජනතාව සිය ගණනක් මිය ගොස් ඇත. ඉරිදා සවස බටහිර ඉවුරේ තුර්මුස් අයියා ප්‍රදේශයේදී අවුරුදු 14ක් වයසැති ඔමර් මොහමඩ් සාඩා රබී නම් ඇමරිකානු-පලස්තීන ද්විත්ව පුරවැසිභාවය දරණ නව යොවුන් විය පසුකරන දරුවෙකු ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.


පලස්තීන නිලධාරීන්ගේ ප්‍රකාශයට අනුව, එම සිද්ධියේදී තවත් අවුරුදු 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකුටද වෙඩි වැදී ඇති අතර, එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනෙකාට සුළු තුවාල සිදුවී ඇත.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඔවුන්ගේ භටයින් මහා මාර්ගය දෙසට ගල් විසි කරමින් සිවිල් වැසියන්ට තර්ජනය කළ "ත්‍රස්තවාදීන්" තිදෙනෙකුට වෙඩි තැබූ බවයි. නමුත් තුවාල ලැබූ දරුවෙකු AFP පුවත් ඒජන්සියට පවසා ඇත්තේ ඔහු පලතුරු එකතු කරමින් සිටියදී සොල්දාදුවෙකු විසින් වෙඩි තබන ලද බවයි.

තුවාල ලැබූ එක් දරුවෙකුගේ පියා සඳහන් කළේ ඔහුද ඇමරිකානු පුරවැසියෙකු බවත්, ඔහු රෝහල් ගත කිරීමට ගෙන යන ගිලන්රථය ඊශ්‍රායල සෙබළුන් විසින් හමුදා මුරපොළකදී නවතා තබන ලද බවත්ය.

පලස්තීන විදේශ අමාත්‍යාංශය මෙය "අධිකරණ ක්‍රියාදාමයකින් තොරව සිදු කරන ලද ඝාතන මාලාවක" නවතම සිදුවීම ලෙස හෙළා දැක ඇත.

මෙහි විමතිදායක කාරණය වන්නේ ඇමරිකානු පුරවැසියන්ද ඊශ්‍රයාලය අතින් මරණයට පත්වීමය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පැවසුවේ බටහිර ඉවුරේ තත්ත්වය "අතිශයින් අනතුරුදායක" බවයි. ඔක්තෝම්බර් 7 වැනිදා සිට බටහිර ඉවුරේ පලස්තීනුවන් 909 දෙනෙකු, ඉන් ළමුන් 191 දෙනෙකු ඊශ්‍රායල රාජ්‍ය හා ජනපද සෙබළුන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සනාථ කර ඇත.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳුදා දිනයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව ඇති අතර, ගාසා තීරයේ යුද්ධය, ඉරානය සහ ඇමරිකානු තීරුබදු ගැන සාකච්ඡා කිරීමට නියමිතය.