
කොටහේනේ පිහිටි ලොජ් එකකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රැඳී සිටි අනියම් යුවළකට පහරදී, ඔවුන් පැහැරගෙන ගොස් ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් විසින් දුන් තොරතුරු අනුව, අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර වයස අවුරුදු 15ක පාසල් සිසුවියක්ද සිටින අතර අනෙක් සැකකාරියන් වයස අවුරුදු 33, 52, 54 සහ 25 වයස්වල පසුවන කොටහේන ශාන්ත අන්තෝනි මාවතේ පදිංචිකරුවන් වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් එක් අයෙකු ලොජ් එකේ රැඳී සිටි අනියම් සැමියාගේ පවුලේ ඥාතියෙකු බව තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් වැඩිදුර තොරතුරු අනුව, අනියම් යුවළ ලොජ් එකේ රැඳී සිටියදී ඒ බව දැනගත් සැකකාර කාන්තාවන් ලොජ් එකට ගොස් යුවළට පහරදී ඔවුන් පැහැරගෙන ගොස් ඇත්තේ අනියම් බිරියගේ නිවසටය. සැකකාර කාන්තාවන් විසින් ඇය නිවසේ අතහැර දමා ගිය පසු, අනියම් බිරිය වෙරළබඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමාට අයත් රුපියල් 325,000ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් සහ මුදල් පසුම්බියක් සොරකම් කර ඇති බවය.
මෙම පැමිණිල්ල මත පදනම්ව පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ අනුව සැකකාරියන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම සොරකම් කරන ලද ජංගම දුරකථනයද පොලීසිය විසින් සොයාගෙන ඇත.
වෙරළබඩ පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval