
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට එළඹෙන මැයි මස 06වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම වළක්වාලමින් පසුගිය 07 වනදා පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය. ඒ අනුව මැයි 06 වනදා කොළඹ ඇතුළු තහනමට ලක්වූ ප්‍රදේශවල ඡන්ද විමසීම ගැටලුවකින් තොරව පැවැත්වේ.
අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන ඇත්තේ එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස ද නියෝගයක් නිකුත් කරමිනි.
පසුගිය 7 වන දින අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව (CMC) සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ සම්බන්ධ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ අනුව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත, සහ කුලියාපිටිය පළාත් පාලන සභාවල මැතිවරණ කටයුතුද අත්හිටුවා ඇත.
එය පෙත්සම් විභාගයෙන් පසු වෙනත් දිනයක පැවැත්වීමට අවසර දීමට අධිකරණය තීන්දු කර ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
පෙර පැවති අතුරු තහනම් නියෝගය හේතුවෙන් මැයි 06 දිනට නියමිතව තිබූ මැතිවරණය අවලංගු කිරීමට සිදුව තිබූ අතර, දැන් මෙම නව තීරණයත් සමඟ ඡන්ද විමසීම නියමිත පරිදි ඉදිරියට ගෙන යාමට මාර්ගය පාදා ඇත.
මෙම තීරණය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හා පළාත් පාලන ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මඟ පාදනු ඇතැයි බලාපොරොත්තු වේ.
පෙර ක්‍රියාමාර්ගය ගෙන තිබුනේ පිරිසකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තරඟ කළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් අනුවය. අධිකරණය පෙත්සම් සමඟ ඉදිරියට යාමට අවසර ලබා දී අතුරු නියෝගය නිකුත් කිරීමට හේතු විය
මෙම අත්හිටුවීම් වලින් වඩාත් සංකීර්ණ තත්වයක් මතුකර තිබුනේ කොළඹ මහනගර සභාවය.කොළඹ මහනගර සභාවට කොට්ඨාස 47 ක් වෙනුවෙන් සභිකයින් 113 ක් තෝරාගන්නා අතර අධිකරණ තීන්දු ප්‍රකාරව වෙනත් දිනයක එය පවත්වන්නට සිදුවීම අනවශ්‍ය මුදල් නාස්තියක් වන්නට ඉඩ තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval