
ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ වනවිට නඩු කිහිපයකට පැටලී සිටින අතර ඊයේ බදුල්ලේ එක් නඩුවකටද අද කොළඹ තවත් නඩුවකටද පෙනී සිටියේය.
අද කොළඹ පෙනී සිටියේ 2016 වසරේ සිදු කළ යැයි කියන NSB මූල්‍ය අක්‍රමිකතාවකට අදාළ නඩුවටය.
එහිදී ඔහු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.
මෙම සිද්ධිය 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී, පළාතේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් ලබා දීමේ ව්‍යාපෘතියකට අදාළව සිදු වූවකි.
ඔහුට අයත් සංවිධානයක නමකින් යුතු අරමුදලකට මුදල් බැර කරන ලෙස මහජන හා ලංකා බැංකු වලින් ඉල්ලා සිටි ඔහුට එම බැංකු රජයේ අරමුදල් ඔහුගේ ගිණුම් වලට මාරු කර තිබූ නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා NSB බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා සිටි අවස්ථාවේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීමට ඔහු කටයුතු කර තිබුනි. ඒ තුළින් රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, සැකකරු වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන දැනටමත් අවසන් වී ඇති බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවත්ය.
එම නිසා සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුගේ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළාය. නඩුව ජුනි මස 17 වනදා නැවත කැඳවීමට නියම කරන ලදි.
අධිකරණ තීරණයෙන් පසුව, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ, සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බැවින් ඔහුට අද සහ හෙට (09) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට බන්ධනාගාර බලධාරීන් දැනටමත් අවසර ලබා දී ඇති බවයි. මෙම කරුණ සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවට ද සඳහන් කළාය.
චාමර සම්පත් ඊයේ (7) බදුල්ල අධිකරණයේ පෙනී සිටියේ මෙම වංචාවටම අදාළ තවත් කොටසක් ඔස්සේ විභාගවන නඩුවටය.
පොදු දේපළ පනත යටතේ පවරන ලද නඩුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළව චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනු ඇති අතර ඒ අතර පාර්ලිමේන්තු රැස්වීම් වලට අධිකරණ අවසරය ලබා එක්වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval