
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා විසින් ඊයේ (7) වන දින, පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට ජනතාව පරිත්‍යාග කළ ලක්ෂ 22කට අධික මුදල් වංචා සහගතව ලබාගත් බවට චෝදනා ලැබූ සැකකරු හා සැකකාරිය ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය මඟින් සිද්ධියට අදාළව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කෙරිණි. කඩුවෙල ප්‍රදේශයේ ඥාතීන් වන රසිකා දමයන්ති හා මලිත් භාෂණ නමැති පුද්ගලයන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන් පරිදි, මෙම සිද්ධියට අදාළ පළමු සැකකාරිය වන රසිකා දමයන්ති පිළිකා රෝගීන් හට ආධාර ලබා දෙන බවට රවටා රෝගීන්ගේ බැංකු ගිණුම් ඔස්සේ ලක්ෂ 7කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් පවතින බව සඳහන් කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය වෙත නෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි තනූජා මල්කාන්ති නමැති කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ, පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවන ඇතැම් පුද්ගලයන් සිය රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආධාර ලබාදෙන ලෙස ඉල්ලා පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බවයි.
සැකකරුවන් දෙදෙනා, එම දැන්වීම්වල සඳහන් දුරකතන අංකයන්ට ඇමතීමෙන් පසු, රෝගීන්ට මුදල් පරිත්‍යාග කරන මුවාවෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පත්‍රිකාවක් මෙන්ම ගිණුම් අංකද ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.
සැකකාර පුද්ගලයන් එම ලියකියවිලි භාවිත කරමින් එම රෝගීන්ගේ නමට පෞද්ගලික දුරකතන සමාගම්වලින් සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවත්, එම සිම් කාඩ්පත්හි දත්ත හරහා අදාළ පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට ඇතුළුවී එම ගිණුම්වල තිබෙන මුදල් එසේ වංචනිකව ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
තවද, මෙම සැකකරුවන් ජංගම දුරකතන හා සිම්පත් විශාල සංඛ්‍යාවක් භාවිත කරමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවද, ඊට අදාළ ජංගම දුරකතන, සිම්පත්, බැංකු කාඩ් ඇතුළු ලියකියවිලි රැසක් පරිගණක අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පෙර නඩු දිනයකදී, තවත් සැකකරුවන් සිටීනම් කඩිනමින් විමර්ශනය කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි. සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval