
මාතලේ පොලිස් ස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම සහ ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ පුද්ගලයින් පස්දෙනෙකු අද (අප්‍රේල් 03) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි.
මාතලේ පොලීසිය සඳහන් කරන ආකාරයට, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මෙම අත්අඩංගුවට ගැනීම් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. එම්. එන්. වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (අප්‍රේල් 02) පෙරවරුවේ තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියක් පවත්වා මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා. වාර්තා වන ආකාරයට, මෙම විරෝධතාවයට හේතුව වී ඇත්තේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවක එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් තරුණයින් පරීක්ෂාවට ලක් කර ඔවුන් සතුව මත්ද්‍රව්‍ය තිබූ බවට චෝදනා කරමින් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීමේදී මාතලේ පොලීසිය පවසා ඇත්තේ ලැබුණු තොරතුරකට අනුව ක්‍රීඩකයින් පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ ගංජා සන්තකයේ තිබීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ අද අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval