government-agency-heads-point-out-losses-and-demand-v8-again

රජයේ ආයතන ප්‍රධානීන් පිරිසක් තමන් දැනට භාවිතා කරන වී එයිට් මාදිලියේ සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට අවසර දෙන ලෙස රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. නව වාහන මිලදී ගැනීමට ප්‍රතිපාදන නොමැති වීම හා අතිරේක මූල්‍ය පිරිවැය වැනි කරුණු ඔවුන් තම ඉල්ලීමේ සඳහන් කර ඇත.


මෙම ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම අනුව, වෙනත් නිලධාරීන් සඳහා වාහන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැනට භාවිතා කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන තවදුරටත් පාවිච්චි කිරීමට අවසර ඉල්ලා සිටී. තවද,
අලුතින් වාහන මිලදී ගැනීමට සිදුවුවහොත් වත්මන් ආර්ථික තත්ත්වය තුළ රජයට අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දී ඇත.
මේ අතර, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයට අයත් වැඩි එන්ජින් ධාරිතාවක් සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීම සඳහා මිල ගණන් කැඳවා ඇතත්, තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මේ දක්වා කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වී තිබේ. මේ හේතුවෙන්, එම වාහන දෙක සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.
මීට පෙර රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, රජයේ ආයතන සතුව පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණි. එම පසුබිම තුළ ආයතන ප්‍රධානීන්ගේ මෙම ඉල්ලීම සලකා බැලීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.