
දින දහයක් පුරා පැවති දළදා වන්දනා වැඩසටහන සාර්ථකව නිමා වීමත් සමඟ මහනුවර නගරය නැවත පිරිසිදු කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. වසර දහසයකට පසු දළදා වහන්සේ ගන්ධකුටියෙන් පිටත වැඩම කිරීමත් සමඟ දේශ-විදේශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරයේ පිරිසිදුභාවය පවත්වා ගැනීම අභියෝගයක් වූ නමුත්, මහජන සහභාගීත්වයෙන් නගරය නැවත පෙර පැවති තත්ත්වයට පත් කිරීමට ක්‍රියා කරමින් සිටී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සිරි දළදා වන්දනා මෙහෙයුම් කමිටුව මඟින් නගරය පිරිසිදු කිරීම සඳහා "ක්ලීන් කැන්ඩි" වැඩසටහන දියත් කර ඇත. දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව හේතුවෙන් නගරයේ සනීපාරක්ෂක තත්ත්වය පිරිහීමට ලක් වූ අතර, දිනපතා කසළ ටොන් 35-40 අතර ප්‍රමාණයක් එකතු වී ඇත.
"මහනුවර නගරයට පසුගිය දින 10 තුළ විශාල ජන පිරිසක් පැමිණියා. නගරය පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා 'ක්ලීන් කැන්ඩි' නමින් අපි වැඩසටහනක් සැලසුම් කළා. මහනුවර මහ නගර සභාව, මධ්‍යම පළාත් සභාව, ගඟවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සියලුම පළාත් පාලන ආයතන මේකට අපි සම්බන්ධ කර ගන්නවා," යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.
දළදා වන්දනාව අවසන් වූ වහාම ආරම්භ කෙරුණු "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මහනුවර කලාප 15කට බෙදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ජනාධිපති කාර්යාලයේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහනට දායක වෙමින් සිටී.
මෑත ඉතිහාසයේ එක් නගරයක් තුළට ඒකරාශි වූ වැඩිම ජන පිරිස ලෙස සැලකිය හැකි සැදැහැවතුන් රැසක් දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ ඇත. කිලෝමීටර් හත අටක් දුරක් දක්වා මහජන පෝලිම් ඇදී ගිය අතර, දෛනිකව 55,000ත් 70,000ත් අතර පිරිසකට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ. පෝලිම්වල රැඳී සිටි අයට දින 3-5 අතර කාලයක් ගත කිරීමට සිදු වී ඇත.
දළදා වන්දනාව සඳහා පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් ලියාපදිංචි දන්සල් 5,000ක් ක්‍රියාත්මක වූ අතර, දින 10 තුළ වතුර බෝතල් ලක්ෂ 35ක් හා යෝගට් ලක්ෂ 5ක් බෙදා දී ඇත. ඊට අමතරව බත්, බනිස්, පාන්, නූඩ්ල්ස්, කඩල ආදී ආහාර වර්ග ද අයිස්ක්‍රීම්, කිරි වැනි දෑ ද සැදැහැවතුන් අතර බෙදා දීමට ව්‍යාපාරික ආයතන, සංවිධාන හා පුද්ගලයින් ක්‍රියා කර ඇත.
දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන් රැඳී සිටි ප්‍රදේශය ආශ්‍රිතව දෛනිකව කසළ ටොන් 35-40 අතර ප්‍රමාණයක් එකතු වී ඇත. දින දහය තුළ මහනුවර නගර සභාව ටොන් 410ක කසළ එකතු කර ඇත. ඉඳුල්, කඩදාසි හා පොලිතින් වෙන් වෙන් වශයෙන් කසළ බඳුන්වලට බැහැර කරන ලෙස දැනුම් දී තිබුණද, ඊට අනුගත වී ඇත්තේ සුළු පිරිසක් පමණි.
මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසන්නේ: "මහනුවර මහ නගර සභාවේ සියලුම සේවකයින් පැය 24 පුරා මේ සඳහා කැප වුණා. විශේෂයෙන් කසළ ඉවත් කරන සේවකයින් මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය හැමෝම අගය කළා. ඒ අය දළදා වඳින එක ගැන අවධානය යොමු කළේ නැහැ. සේවා සැපයීමට තමයි හැම වෙලාවෙම කැපවුණේ."







Comments
Post a Comment
Your comment will be visible after approval