
මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් පිරිසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන බන්ධනාගාර අධිකාරීන් පියවර ගෙන ඇත.
රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට එරෙහිව රැඳවියන් කණ්ඩායමක් විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රී 8:00 පමණ වන විට කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ. මෙම අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල සිටි බන්ධනාගාර නිලධාරීන්ට ගල් හා මුල්වලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තැබීමට සිදුව තිබේ.
මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා සඳහන් කළ ආකාරයට, මෙම සිද්ධිය අතරතුර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
රාත්‍රී 8:00 පමණ ආරම්භ වූ කලහකාරී තත්ත්වය තාවකාලිකව පාලනය කළ නමුත්, මධ්‍යම රාත්‍රිය වන විට රැඳවියන් නැවත කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරයේ දේපළවලට හානි කිරීමට පටන් ගෙන ඇත. මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර අධිකාරීන් පොලීසිය කැඳවා ඇති අතර, බන්ධනාගාරය තුළට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සහ නැවත අහසට වෙඩි තැබීමට සිදුව ඇත.
උද්ගත වූ තත්ත්වය හමුවේ, බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් 25 දෙනෙකුගේ ආරක්ෂාව සලකා ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමටද බන්ධනාගාර අධිකාරීන් පියවර ගෙන ඇත.
බන්ධනාගාර ආරංචි මාර්ග අනුව, අද අලුයම වන විට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වී ඇතත්, සිද්ධිය අතරතුර බන්ධනාගාරයේ ගබඩා කාමරය සහ තවත් ස්ථාන කිහිපයක් කඩා විනාශ කර ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා මාතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම අමතර පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කැඳවා ඇති අතර, ගිනි නිවන හමුදාවේ භටයින්ද සූදානමින් තබා ඇත.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මෙම කලහකාරී තත්ත්වය හේතුවෙන් කිසිදු රැඳවියෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුවී නොමැත. ඒ අනුව, රැඳවියන්ගේ ඥාතීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම පාලනය යටතේ පවතින අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.




Comments
Post a Comment
Your comment will be visible after approval