
පොලිසිය විසින් ගන්නා ලද මෙම පියවර ප්‍රධාන වශයෙන් සිදු කර ඇත්තේ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණීම අපේක්ෂා කරන හෙයිනි. මෙම ස්ටිකරය තුළින් වාහන පහසුවෙන් හඳුනාගෙන නියමිත රථගාල් වෙත යොමු කිරීමට හැකිවන අතර, බැතිමතුන්ට බාධාවකින් තොරව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට ඉඩකඩ ලබාදීමත්, පැමිණෙන සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීමත් අරමුණු කර ඇත.
පොලිස් මූලස්ථානය මගින් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති අතර, සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කිරීමට උපදෙස් ලබාදී තිබේ.
වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පොලිස් වසම්වලින් දළදා දැක්ම වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් පැමිණෙන වාහන හා බැතිමතුන් සංඛ්‍යාව පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන, එක් වාහනයකට එක් ස්ටිකරයක් බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
මෙම ස්ටිකරය වාහනයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනෙන අයුරින් හා රියදුරුගේ දර්ශනයට අවහිරයක් නොවන ආකාරයට අලවා ගැනීමට උපදෙස් දී ඇත. පොලිසිය මෙම ඉල්ලීම විශේෂයෙන් බැතිමතුන් කණ්ඩායම් භාරව පැමිණෙන පුද්ගලයින්ගෙන් සිදු කර තිබේ.
කෙසේ වෙතත්, පොලිසිය විසින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ මෙම ස්ටිකරය වන්දනා කටයුතු පහසු කිරීම හා වාහන පහසුවෙන් හඳුනා ගැනීම සඳහා පමණක් හඳුන්වා දී ඇති බවත්, එය සෑම වාහනයකම ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නොවන බවත්ය. ස්ටිකරය ප්‍රදර්ශනය නොකරන වුවද, ඕනෑම බැතිමතෙකුට ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණීමේ අවස්ථාව සහතික කර ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
මෙම ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් දළදා වන්දනාවට පැමිණෙන විශාල ජන ප්‍රවාහය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ බැතිමතුන් සඳහා වඩාත් පහසු හා සුරක්ෂිත වන්දනා අත්දැකීමක් ලබාදීම අපේක්ෂා කෙරේ.


Comments
Post a Comment
Your comment will be visible after approval