
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එතැනින් පිටව ගොස් ඇත. ඒ, චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9.15 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ, පස්වරු 12.25ට පමණ එතැනින් පිටත්ව ගොස් ඇත. මෙම කාලය තුළ ඔහු පිටු 10ක කටඋත්තරයක් ලබා දී ඇති බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යයට අනාවරණය කරන ලදී.
හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් පිටව ගිය පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නානායක්කාර මහතා මෙසේ පැවසීය:
"අල්ලස් කොමිසමේ දැනුම්දීමක් මත අද පැමිණියා. පැය 03කට ආසන්න කාලයක් පිටු 10ක කටඋත්තරයක් දුන්නා. තමන් දන්න සියල්ල කිව්වා. නිලධාරීන් සුහදශීලිව සැලකුවා. දැන් ඒ කතාව ඉවරයි. දැන් ගෙදර යනවා."
මීට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීම සඳහා අවස්ථා දෙකක දී හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙසට කැඳවීම් ලැබී තිබුණි. එහෙත් සිය නීතිඥවරයා විදෙස්ගත වී ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා එම අවස්ථා දෙකෙහිදී ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොපැමිණේය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධූරයේ සිටි කාලයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කර තිබූ ස්ථාවර තැන්පතු අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධ චෝදනා පිළිබඳව මෙම පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බව විශ්වාස කෙරේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පරීක්ෂණයේ මේ අවස්ථාවේදී වැඩිදුර ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින අතර, පරීක්ෂණය තවදුරටත් ඉදිරියට සිදු කෙරෙන බව පමණක් සඳහන් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ද වාර්තා වේ.
මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි දිනවල තවත් කැඳවීම් සිදු කිරීමට ඉඩ ඇති බවත්, එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බවත් වාර්තා වේ.



Comments
Post a Comment
Your comment will be visible after approval