හදිසි හෘදයාබාධයකින් 38 වියේදී අඩු වයසේදී මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල ජයවීර වෙනුවෙන් "කෝසල සොයුර ඔබට සුබ ගමන්" යයි සඳහන් කරමින් ලලිත් ප්‍රියදර්ශන දයාරත්න විසින් පුවත්පතක තැබූ සටහනක් මේ සමග පළවේ.
ඒ අධිෂ්ඨානශීලි යෞවනයා හාපුරා කියා හමුවූ අවස්ථාව හරියටම මතක නැහැ. ඒත් හමුවූ තැන නම් හරියටම මතකයි. හමුවූයේ මැදිකැලේ ගමේ, කන්දඋඩ පිහිටි පුංචි ගෙදරකදී. සේතං සිංඤෝ තාත්තාගේ සහ හිතාගන්න බැරි තරම් ආදරණීය, කාරුණික අම්මාගේ ගෙදරදී. සේතං සිංඤෝ තාත්තා ලංකා සමසමාජ පක්ෂයේ සිටි යෝධයෙක්. මේ ගෙදර ජනතා විමුක්ති පෙරමුණට විවෘත වුණේ සමසමාජ යෝධයාගේ එකම පුතා ජිනවංශ රාමනායක නිසයි. සේතං සිංඤෝ තාත්තාත් ඒ ආදරණීය අම්මාත් අපි හැමෝටම සැලකුවේ තමන්ගේ පුතාලා, දූලා හැටියට. මෙන්න මේ පුතාලා, දූලා අතරට යෞවන වියේ සිටි කෝසල නුවන් ජයවීරත් එක් වූවා.
කෝසල නුවන් ජයවීර යෞවනයා අවිස්සාවේල්ල, තල්දූව ආසන්නයේ නාපාවල ගමේ සිටි වඩු කාර්මික තාත්තාගේ ලොකු පුතා. මේ පුතාට මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා. කෝසල නුවන් උසස් පෙළ විභාගය අවසන් කර සිටි කාලයක, ඇහැලියගොඩට ඇවිත් දෙහිඕවිට පාරේ ටික දුරක් ගමන් කර, කන්ද නැඟ මැදිකැලේට ආවා. කිලෝ මීටර් 11ක් විතර දුරක් පයින්ම, සේතං සිංඤෝ තාත්තාගේ ගෙදරට. ඒ එන අවස්ථාවල මූලික අරමුණ අවිධිමත් හමුවීමක්. ඒ හමුවීම දේශපාලන සා පිපාසාව සංසිඳුවා ගැනීමයි. මතකයේ හැටියට 2005 - 2006 වගේ කාලයේ මේ විදිහට අපි හමුවී බොහෝ දේශපාලන කරුණු, කලාව, සාහිත්‍ය ගැන කතා කළා. සේතං සිංඤෝ තාත්තා තරුණ පිරිසට ඉඩ දී තමන්ගේ පාඩුවේ වැඩක් බලා ගත්තා. අම්මා කෑම බීමවලටත් වඩා වැඩි ආදරය ඉතා නොමසුරුව අපට දුන්නා.
ඉඳහිට හමුවී කාලය ගෙවී යන අතරේ කෝසල අපේම සහෝදරයෙක් වී, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. දන්නා තරමින් නම් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරියගේ ශිෂ්‍යයෙක්. මේ දේශපාලනික තරුණයා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හැටියට තේරී පත්වී විශාල වැඩ කොටසක් කළා. ඔය අතර 2011 දී ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ කුමන්ත්රණකාරී කල්ලියක් ක්‍රියාත්මක වුණා. පක්ෂය දෙපළු කළා.
මතකයේ හැටියට 2011 දෙසැම්බර්, නැත්නම් 2012 ජනවාරි විතර සේතං සිංඤෝ තාත්තා මිය ගියා. මැදිකැලේ කන්දඋඩ ගෙදර සීතල රාත්‍රියක් පුරාම අපි කණ්ඩායමක් එක්වී මළ ගෙදර පාළු මැකුවා. උණුසුම් සංවාදවලින් පිරී ගිය රාත්‍රියක්. කෝසල සහෝදරයා න්‍යායාත්මක වගේම ප්‍රායෝගික ලෙස බොහොමයක් ප්‍රශ්න ඉදිරිපත් කර සංවාද කළා. ඔහු සේතං සිංඤෝ තාත්තාට සමුදී ගියේ ජීවිතයට ලොකුම අධිෂ්ඨානයක් හා ශක්තියක් එක්කරගෙන බව පැහැදිලි වුණා. ඔව්, ඒක ඇත්තම බව ඔප්පු කරමින් ඔහුගේ දේශපාලන ජීවිතයේ අතිශයින්ම ආදරණීය, නිර්මාණශීලි ක්‍රියාකාරිකයකු හැටියට පිමි පනිමින් ඉදිරියට ආවා. නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඉතාම සියුම් විචක්ෂණශීලි ලෙස විසඳුවා. හැමෝගේම ආදරය දිනාගත්තා.
සේතං සිංඤෝ තාත්තලාගේ මුල් කාලයේ සමසමාජ බළකොටුවක්ව තිබූ තුන් කෝරළයම ජනතා විමුක්ති පෙරමුණ වෙත ආකර්ෂණය කර ගත්තා. 2018 අගෝස්තු මාසයෙන් පස්සෙදි තව තවත් වේගයෙන් ජාතික ජන බලවේගය වෙත ආකර්ෂණය කර ගත්තා. තුන් කෝරළය කියන්නේ, රුවන්වැල්ල, දැරණියගල සහ යටියන්තොට කියන මැතිවරණ කොට්ඨාස තුනයි. අන්තිමට 2022 අප්‍රේල් මාසයේ පටන්ගත් ගෝල්ෆේස් අරගලයෙන් ඔහු මුළු රටම දැනගන්නා තරුණයෙක් වුණා.
දේශපාලනිකව තුන් කෝරළය විතරක් නොවෙයි, මුළු කෑගල්ල දිස්ත්‍රික්කයම දිනාගෙන පාර්ලිමේන්තු මහජන නියෝජිතයෙක් බවට පත් වුණා. ඉන් පස්සෙදී කෝප් කමිටුව හමුවේ ඔහුගේ ක්‍රියාකාරිත්වය රටම දැනගත්තා. මහජන ධනය වංචා කළ, කොල්ල කෑ පිරිස් සලිත වී ගියා. ඒ මහා ආදර්ශයන් කෙටි කාලයක් තුළ ලබාදී දශමයක හෝ දෙයක් තමන් වෙනුවෙන් අපේක්ෂා නොකර නිහඬවම ඔහු යන්න ගියා. කෝසල සහෝදරය, ඉතින් ඔබට සුබ ගමන්! ඔබ යන්නේ තරුණ තරුණියන් දහස් ගණනකට මහා ආදර්ශයන් ගොන්නක් ඉතිරි කර තබමින්, ඒ උණුසුම් හැඟීම රැගෙන යන්න!
නික්ම ගිය කෝසලගේ අවසන් කටයුතු අප්‍රේල් 9දා කෑගල්ලේදී සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval