the-student-who-tried-to-enter-the-temple-of-the-tooth-relic-wearing-a-robe-was-previously-a-monk

මහනුවර දළදා මාලිගා පරිශ්‍රයට නිසි බලපත්‍ර හෝ හැඳුනුම්පත් නොමැතිව භික්ෂු වේශයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තරුණයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය 2025 අප්‍රේල් 25 වන දින නියෝග කළාය.


සිවුරක් හැඳ භික්ෂුවක් ලෙස පෙනී සිටි, එහෙත් වලංගු භික්ෂු හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පතක් භාරදීමට අපොහොසත් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක් වන මතීෂ සහන් නමැති සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව, අදාළ පුද්ගලයා කලක් පැවිදි දිවියක් ගත කර පසුව උපැවිදි වූ තැනැත්තෙකි.
ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට තිබූ දැඩි ආශාව හේතුවෙන් ඔහු සිවුරක් පැළඳ දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.
එවැනි ක්‍රියාවක් සඳහා ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට හේතු වූ අතර, දැනට විභාගයකට පෙනී සිටින සිසුවෙකු බවද අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පොලිස් විමර්ශන මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කර ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා විසින් විමර්ශන පවත්වා ඇති අතර,
මහනුවර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ. එම්. එස්. අත්තනායක මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර සම්පූර්ණ සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කරන ලදී.
අධිකරණ නඩු විභාගයේදී, මහේස්ත්‍රාත්වරිය විසින් තරුණයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කරන ලද අතර, සැප්තැම්බර් 16 වන දින නැවත අධිකරණයේ පෙනී සිටීමට ද නියම කරන ලදී.
මෑත කාලයේ දළදා මාලිගාව අවට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි අනවසර ඇතුල්වීම් වැළැක්වීම සඳහා පොලිසිය විසින් විශේෂ පියවර ගනිමින් සිටින අතර, මාලිගා පරිශ්‍රයට ඇතුළුවන සියලු පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු පවසා සිටියේය.