The time for sending children to schools to receive political letters is over - Prime Ministerඅගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කර සිටියේ දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ විදුහල්පතිවරුන් අසාධාරණ වාසි ගත් යුගය දැන් අවසන් බවයි. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී කිසියම් අසාධාරණයක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
දොඩංගොඩ ප්‍රදේශයේ පසුගිය අප්‍රේල් 22 වන දින පැවති ජනහමුවකදී අගමැතිවරිය මෙම අදහස් පළ කළාය. ඇය එහිදී වැඩිදුරටත් පැවසුවේ සමහර පළාත් පාලන ආයතන පිළිබඳව හෝ එම ආයතන විසින් ඉටු කළ යුතු සේවා පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් වී නොමැති බවයි. ඊට හේතුව එවැනි ආයතන පවතින බව ජනතාව නොදැන සිටීම හෝ එම ආයතන මගින් අපේක්ෂිත සේවා සපයා නොමැති බව ඇය පෙන්වා දුන්නාය.

අගමැතිවරිය තවදුරටත් සිය අදහස් දක්වමින් "තමන්ගේ සමාජය නිවැරදි කර ගන්න, එකඟතාව මත වැඩ කරගෙන යනකොට වැරදි හදාගන්න. ඒ ක්‍රමය වෙනස් කරන්න සංවිධානාත්මකව ජනතාව මැදිහත් වෙනවා. මේක තමයි බලාපොරොත්තු වූ වෙනස. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ," යැයි පැවසුවාය.
ඇය සිය කතාව තවදුරටත් කරගෙන යමින්, "වෙනදා පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම අහන්න වෙන බැණුම් දැන් අහන්න වෙන්නේ නැහැ. සාවධානව ඇහුම්කන් දෙනවා. පැමිණිල්ල නිවැරදිව ලියා ගන්නවා. සුහදව කතා කරනවා. මේක තමයි ජනතාව ඉල්ලන වෙනස," යැයි සඳහන් කළාය.
අගමැතිනි අමරසූරිය විශේෂයෙන් අවධාරණය කළේ පාසල් දරුවන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි.
"මේ රටේ ජනතාවට තිබුණු ලොකුම කරදරය දරුවෙක් පාසලට ඇතුළත් කරන එක. මෙතෙක් කාලයක් පුරුද්දක් හැටියට ළමයි පාසලට දාගන්න දේශපාලනඥයන් ගාවට පෝලිමේ ආවා ලියුම් ගන්න. එහෙම තමයි දරුවන් පාසලට ඇතුළත් කළේ. ඒ ක්‍රමය අපි වෙනස් කළා," යැයි ඇය පැවසුවාය.
තවදුරටත් කතා කරමින් අගමැතිවරිය, "අද ජනතාව අපිට කියනවා ලිපියක් ඉල්ලන එක වැරදියි කියලා. අපි දන්නවා ඒ වැරැද්ද වෙනවා දකින්න කැමැති නෑ කියලා. ඒ එන ජනතාව දුක කියලා අඬනවා. සමහර කාරණාවලට මටත් ඇඬෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් වැරදි වැඩක් කරන්න කියලා මට කියලා නැහැ," යනුවෙන් පෙන්වා දුන්නාය.
අගමැතිවරිය ප්‍රකාශ කළේ වර්තමානයේ ජනතාව පෞද්ගලික දෙයක් වෙනුවෙන් දේශපාලනඥයන්ගෙන් වාසි බලාපොරොත්තු වීම වැරදි බව තේරුම් ගෙන ඇති බවයි. "ජනතාව අපි ළඟට ඇවිත් දුක කිවුවත්,
ඇඬුවත්, දේශපාලනඥයන්ගෙන් උදවු ඉල්ලන්නේ නෑ කියන තරමට හැදිලා නම් අපි වෙනස් වෙලා නැද්ද? ජනතාව වෙනස් වෙලා නැද්ද? මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලපු දේ," යැයි ඇය අවධාරණය කළාය.
අගමැතිනි තම කතාව අවසන් කරමින් පැවසුවේ මෙම නව දේශපාලන සංස්කෘතිය සමාජයේ සෑම මට්ටමකම ක්‍රියාත්මක විය යුතු බවයි. "මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්තරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය වගේම පළාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇති විය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුණොත් මේක කරන්න බැහැ," යැයි ඇය පැවසුවාය.