
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක් තුළදී අධික ලෙස මත්පැන් පානය කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ 65 හැවිරිදි සැකකරුවකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් පසුගිය අප්‍රේල් 03 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට නියෝග කළේ මෙම සිද්ධියට අදාළව සැකකරුට එරෙහිව නිසි පැමිණිල්ලක් ගොනු කරන ලෙසයි.
සැකකරු වන කන්දයියා තුරෙයිසිංහම් ස්වීඩනයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු බව අනාවරණය වී ඇත. අධිකරණයේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පවසා ඇත්තේ සැකකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානමින් සිටින බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවිකාවට, ගුවන් කාර්ය මණ්ඩලයට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ද කනගාටුව පළ කරන බවත්ය.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට වැඩිදුරටත් තොරතුරු සපයමින් පැවසුවේ
පසුගිය මාර්තු 12 වනදා අලුයම 12.45ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරණ ගුවන් යානයෙන් ගමන් කරමින් සිටියදී, මෙම සිදුවීම සිදුව ඇති බවයි.
සැකකරු අධික ලෙස විස්කි මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ. ඉන් පසු ඔහු එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කරමින්,ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන්ට ද හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇත.ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු සිය රහස් ප්‍රදේශය ගුවන් සේවිකාවන්ට ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.ගුවන් යානය උඩු ගුවනේ පියාසර කරමින් තිබියදී සිය ගමන් බෑගය තුළ රැගෙන ආ ලීටරයක පමණ ප්‍රමාණයේ විස්කි වර්ගයේ මත්පැන් බෝතලයක් පානය කර ඇත.
සැකකරු මුලින් යාපනයේ නාග දූපතේ පදිංචිව සිට පසුව යුරෝපයට සංක්‍රමණය වී ඇති බවත්, දැනට ස්වීඩනයේ පදිංචිව සිටින බවත්ය. සැකකරු වසර 30කට පසුව ශ්‍රී ලංකාවේ සිටින 63 හැවිරිදි සිය නැගණිය බැලීමට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව ද එහිදී අනාවරණය විය.
සැකකරුගේ නීතිඥවරයා පැහැදිලි කළ පරිදි, තුරෙයිසිංහම් ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර සිට මුලින්ම එංගලන්තයේ ලන්ඩන් වෙත ගුවන් ගමනක් ගෙන, ඉන්පසු ඉන්දියාවේ මුම්බායි නුවරට ගමන් කර ඇත. මෙම දිගු හා වෙහෙසකාරී ගුවන් ගමන්වලින් පසුව ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයේදී අයහපත් හැසිරීම් රටාවක නිරත වී ඇත.
ලිංගික අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සිද්ධියට පසුදා මුදාහැර තිබූ අතර. නැවත මෙම නඩුව ඊයේ කැඳවන ලද අවස්ථාවේ විස්තරාත්මක කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව නිසි පැමිණිල්ලක් ගොනු කරන ලෙස කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට නැවත නියෝග කර ඇත.
සැකකරු වරද පිළිගැනීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට කනගාටුව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් ගුවන් ගමන් අතරතුර සිදුවීම බරපතල වරදක් ලෙස සැලකෙන අතර, නීතිය ඉදිරියේ සැකකරුට මුහුණ දීමට සිදුවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval