was-the-shooting-in-kumarakande-hikkaduwa-revenge-for-the-big-murder

හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී ඉකුත්දා සිදුකළ වෙඩි තැබීම මීට වසර අටකට පමණ පෙර හික්කඩුව ප්‍රදේශයේම සිදුකළ වෙඩි තැබීමකට පළිගැනීමක් බවට ඇති වී ඇති සැකය මත පොලිස් කණ්ඩායම් 5ක් මෙය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය එලෙස සැකයක් මතු කරගෙන ඇත්තේ ඉකුත් 4 වැනිදා හික්කඩුව, කුමාරකන්දේ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පුතාද මීට  පෙර නාඳුනන තුවක්කුකරුවන් විසින් හික්කඩුව ප්‍රදේශයේදීම ඝාතනය කර තිබූ නිසාය. ඉකුත් 4 වැනිදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් වෙළෙඳසල් හිමියකු මියගිය අතර ඔහුගේ බිරිය බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.



යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනා කුමාරකන්ද වෙළෙඳපොළ අසල යතුරුපැදිය නවත්වා ගිනි අවි දෙකකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. වෙඩි වැදීමෙන් වෙළෙඳ සල් හිමිකරු වන කීර්තිවංශ නමැති 61 හැවිරිදි පුද්ගලයකු මියගිය අතර ඔහුගේ බිරිය වූ  ඇන්ජලා  නමැත්තිය  බරපපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ හික්කඩුව පොලිසිය විසිනි.

විමර්ශන ඇරැඹූ හික්කඩුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් ටී. පනස් හය ගිනි අවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවයි.මියගිය දෙදෙනා අඹු- සැමියන් වන අතර ඔවුන් හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. කළු පැහැති පල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර ඔවුන් වෙඩි තැබීම සිදුකර පළායන ආකාරය ඒ අසල ස්ථාපිත සී.සී.ටී.වී. කැමරාවකද සටහන්වී තිබිණි.
විමර්ශන ඇරැඹුණේ එම කැමරා දර්ශනද උපයෝගි කරගනිමිනි.


හික්කඩුව පොලීසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමඟ කළ ඒකාබද්ධ විර්ශනයේදී අනාවරණය වන්නේ වෙබ් තැනීමට ගොදුරු වූ මෙම අඹු- සැමි යුවළගේ පුත්‍රයකුද ඉකුත් 2017 වසරේදී හික්කඩුවේදී වෙඩි තබා මරා දමා ඇති විය.2017 මැයි මස 23 වැනිදා සිදු කළ එම වෙඩි තැබීමෙන් සජිත් නමැති ඔවුන්ගේ පුතකු සහ සජිත්ගේ සමීපතයකුද මියගොස් ඇත.


සජිත් නමැත්තා හික්කඩුව, බද්දේගම පාරේ ස්ටිකර් අලෙවිසලක් පවත්වාගෙන ගොස් තිබු අතර නාඳුනන තුවක්කුකරු එම වෙළෙඳසල තුළට ඇතුළුව සජිත් ගිමාල් සහ ඔහුගේ සමීපතමයා වෙඩි තබා මරා දමා තිබිණී.සජිත්  නමැත්තා හික්කඩුව ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වල නියැළී "ලොකු" නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටි අයකි.


මෙලෙස ඇප මත සිටි සජිත්  ඝාතනය කිරීමට නාඳුනන තුවක්කුකරුවන් කටයුතු කර තිබුණේ ලොකු නමැත්තා ඝාතනයට එකට එක කිරීමක් ලෙස බවට විර්ශනවලදී අනාවරණය වී තිබිණි.හික්කඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


කීර්ති මෙන්ඩිස්