When the court orders to question whether a lawyer is a real person: If possible, put him in prison - Namal says

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අද (03) රහස් පොලිසියට නියෝග කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන ඇත්දැයි විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙසයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති බව දසත අධිකරණ වාර්තාකාරිණිය පවසයි.

රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවට අනුව, මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පදනම් වීමෙනි. මෙම පැමිණිල්ල පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

විමර්ශන වාර්තාවට අනුව, නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණදීමේ දී වංචාවක් සිදු කර ඇත්දැයි තවදුරටත් විමර්ශන සිදු කරනු ලබන අතර, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දැනටමත් ආරම්භ කර ඇත.

අදාළ පැමිණිල්ල සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය ලබාගෙන ඇත්තේ වංචනිකවද යන්න පිළිබඳව සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. මේ අනුව, විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන පිළිබඳ සියලු තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

නාමල් රාජපක්ෂගේ ප්‍රතිචාරය

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන් වැරදි කොට නැති බවත්, "පුළුවන් නම් තමන් හිරේ දමන ලෙසත්" ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝගයක් සිදුකර ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය: "ඡන්දෙ ගන්න ජනතාව රැවැට්ටුවා දැන් ජනාධිපතිතුමා වේදිකාවට නැගලා අත්අඩංගුවට ගන්න ඒවා ගැන කියනවා. දැන් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකට කියන්න තියෙන දේ ජනාධිපතිතුමා කියනවා. අධිකරණයෙන් දෙන්න ඕන නඩු තීන්දු මැති ඇමතිවරු දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කරන්න ඕන වැඩේ ඇමතිවරු කරනවා. ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට බනිනවා. ජනාධිපතිවරයා පොලිසියට බනිනවා."

ඔහු තවදුරටත් පැවසුවේ: "පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වෙලා තියෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තව එකක් කියනවා. සමස්ත ආණ්ඩුවම අද අච්චාරුවක් බවට පත්වෙලා තියෙනවා. තමන් කියන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ද යන්නෙ කොහෙද කියලවත් තේරුමක් නැතිව රාජ්‍ය පාලනය කරන්න උත්සාහ කරනවා."

නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, "දැන් මාස හයක් ගිහිල්ලා. අපි මුල ඉඳන් කිව්වා අපි සාධාරණ කාලයක් දෙනවා. මොකද අපිට අරගල කරලා වෙඩි තියලා ගිනි තියලා මරලා ආණ්ඩු හදන්න සන්නද්ධ හමුදාවක් නෑ. අපි චන්දෙන් ආණ්ඩු පෙරලන්නෙ."

තවද, ඔහු සිරගත කිරීමේ තර්ජනය ගැන අදහස් දක්වමින්, "ඒකත් දැන් කියනවා හිරේ දාලා හිරේ ඇතුලේ පාර්ලිමේන්තුව කැඳවන්න වෙයිලු. කමක් නෑ දාලා බලන්න. එහෙම හිරේ යන්න බය නෑ අපි. යහපාලන ආණ්ඩුවත් ඔහොම තමයි බලයට ආවේ අපිව දැම්මා. තුන් පාර හතර පාර ඇතුළට දැම්මා. අපි මූණ දුන්නා අපි අධිකරණයට මුහුණ දෙනවා. මොකද අපි වැරදි කරලා නෑ" යනුවෙන් ප්‍රකාශ කළේය.


විමර්ශනය අදියර හා තුෂාර ජයරත්න

නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය සම්බන්ධ මෙම විමර්ශනය දැනට මුල් අදියරේ පවතින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කිරීම ඇතුළු තවත් විමර්ශන කටයුතු දැනට සිදු කරමින් පවතී.

අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය අනුව, මෙම විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා සාක්ෂි ලබාදීමට සූදානම් බවට තුෂාර ජයරත්න නමැති සාක්ෂිකරුවෙකු ස්විට්සර්ලන්තයේ සිට පැමිණෙන බවට පසුගියදා වාර්තා පළ විය.
කෙසේ වෙතත්, වඩාත් බරපතල චෝදනාව වන්නේ නාමල් රාජපක්ෂගේ නීති දැනුම පිළිබඳ ප්‍රශ්නයයි. ජයරත්න මහතාට අනුව, නීතිඥයින් 40කට වැඩි පිරිසක් පෞද්ගලිකව පිළිගෙන ඇත්තේ නාමල්ට මූලික නීති මූලධර්ම පිළිබඳව වත් අවබෝධයක් නොමැති බවයි. මෙය සත්‍ය නම්, ඔහු නීති විභාග සමත් වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
තුෂර ජයරත්න මෙම චෝදනා පැහැදිලි කරමින් කාලයක් තිස්සේ යූ ටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යයි.
මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවේ. වාර්තා වලට අනුව, නාමල් තම නීතිඥ තත්ත්වය පාවිච්චි කරමින් එක්සත් ජනපද වීසා ලබාගෙන ඇත. එම සුදුසුකම් වංචනික ලෙස ලබාගෙන ඇත්නම්,

එය බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
වැරදි තොරතුරු සැපයීම හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නාමල්ට ජීවිත කාලය පුරා වීසා තහනමක් පැනවිය හැකි බව වාර්තා වේ. යුරෝපා සංගමයද මෙයට අවධානය යොමු කළ හැකි අතර, එය ජාත්‍යන්තර වශයෙන් රාජපක්ෂ පවුල තවදුරටත් හුදකලා කිරීමට හේතු විය හැකිය.

මීට පෙර, පාර්ලිමේන්තුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, තම නීති උපාධියට අදාළ විභාග සම්බන්ධයෙන් පැමිණිල්ලක් තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට රජයෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රී රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, තමන් නීති විභාග සඳහා වායුසමීකරණය කළ කාමරයක තනිව වාඩි වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහට ඔප්පු කළ හැකි නම්, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එම චෝදනාව ඔප්පු වුවහොත් තමන් ඉල්ලා අස්වන බව සඳහන් කළ මන්ත්‍රී රාජපක්ෂ, නමුත් අමාත්‍යවරයාට එය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඔහු තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද පැවසීය.
පැමිණිල්ලට පදනම් කරගත් තුෂාර සිදධිය හෙළි කරන බොස්ටන් ලංකා යූටියුබ් වීඩියෝව පහතින්